Tuesday, November 20, 2012

අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ...


ගුරුවරු අපිට කොච්චර ආදරෙයිද, ගෙදර අම්මයි තත්තයි අපිව පරිස්සම් කරලා තමන්ගේ ඇස් දෙක වගේ අපිව බලාගෙන ඉස්කෝලෙට යැව්වම ඉස්කෝලෙ අපේ දෙමව්පියෝ වෙන්නෙ අපේ ගුරුවරු. රටක අනාගතයෙ ඇස් පාදන්න අපේ ගුරුවරු කොච්චර මහන්සි වෙනවා අත්ද...
එයාලා අපිට කොච්චර ආදරෙයිද...නිදිමරාගෙන ඊලඟ දවසේ උගන්නන්න ඕන ඒවා ලෑස්ති කරලා පාන්දර නැගිටලා ඉස්කෝලෙ එන්නෙ ළමයි ගැන කොච්චර බලාපොරොත්තු තියගෙනද...
පොතේ දැනුම විතරක් නෙවෙයි, මිනිහෙක් විදියට දෙපයින් නැගිටලා, පොළොවෙ පය ගහලා, අනිත් මිනිස්සුන්ට කරදරයක් නොවී, රටට වැඩදායී පුද්ගලයෙක් විදියට ජීවත් වෙන විදිය එයාලා අපිට කියලා දුන්නා. මුදලට සීමා කරන්න බැරි සේවයක් එයාලා අපිට සහ රටට කරන්නේ.

විභාගයක් ලඟ ලඟ එද්දී අපි විතරක් නෙවෙයි ගුරුවරුත් සෑහෙන මහන්සි වෙනවා.(මම හිතන්නේ අපිට වැඩිය මහන්සි වෙන්නෙ ඒගොල්ලො වෙන්න ඇති)

විභාගෙදී එයාලගේ හිත සතුටු වෙන්නේ අපි විභාගෙට හොඳට මූන දුන්නොත් විතරයි, එයාලා අපෙන් බලාපොරොත්තු වෙන්නෙත් එච්චරයි...අපිට එයාලා අපෙන් බලාපොරොත්තු වෙන ඒ පුංචි දේ අපිට කරන්න බැරි උනොත් එයාලා හිතින් කොච්චර දුක්වෙනවා ඇත්ද...

මගේ අම්මා ගුරුවරියක්, මම මගේ අම්මා මේ වගේ අවස්තාවල දුකින් ඉන්න විදිය මම දැකලා තියෙනවා. මට හිතුනේ මේ වගේ වෙන්න ඇති අනිත් ගුරුඅම්මලා, ගුරුතාත්තලා, ළමයි වැරදි කරාම එයාලා හරියට ඉගෙන ගත්තේ නැති උනාම අම්මලා තාත්තලා දුක්වෙන විදියටම අපේ ගුරුවරුත් දුක් වෙනවා ඇති.


මම මේ ළඟදි පත්තරේක කියෙව්වා මෙහෙම දෙයක්..
"වෛද්‍යවරයකුගේ අත් වැරදීම මිනී වළ තුළ නිධන් ගත වේ.

ඉංජිනේරුවෙකුගේ අත් වැරදීම ගඩොලක සටහන් වේ.

නීතීඥයකුගේ අත් වැරදීම පෝරකය දක්වා වේ.

නමුත්,
ගුරුවරයෙකුගේ අත් වැරදීම ජාතියක් තුළ සදාකල් නිධන් ගත වේ..."

ඒක කියෙව්වම ජාතියක් තනන මේ ගුරුවරුන් ගැන හිතේ ඇති වුණේ කවදාවත් කියලා ඉවර කරන්න බැරි තරම් සෙනෙහසක්..

මට හිතෙන විදිහට ගුරුවරයෙක් වෙන්නත් වාසනාව තියෙන්න ම ඕනෙ..අපි හැමෝට ම එක අම්මයි, එක තාත්තායි.ඒත් ගුරුවරුන්ට ගණන් කරලා ඉවර කරන්න බැරි තරම් දරුවො ගොඩාක් ඉන්නවා...
නොදැනුවත් ව, හිතන්නේ ම නැතුව අපි කොයි තරම් නම් අපේ ගුරුවරුන්ගෙ හිත් රිදවලා ඇත් ද..?
අපි ඉස්කෝලෙන් අයින් වෙලා සමාජයේ එක එක තැන් වලට ගිහින් අපේ සිහින වලට ළං වෙන්න හදනවා..ඒත් අපේ ගුරුවරු...කලින් වගේ ම තවත් දරුවන්ගේ සිහින් එළි කර ගන්න උදව් කරන්න තාමත් ඉස්සර වගේ ම ඉස්කෝලෙ යනවා...
ඉතින් ඒ ගුරු අම්මලා තාත්තලාට මේ උපහාරයක් ම වේවා..!!!

No comments:

Post a Comment