Sunday, November 25, 2012

ලැසී

හීනෙන් වගේ ඔරලෝසුවෙ හය වැදුනා ඇහෙනකොට ම මූණ පුරාම සීතලක් එක්ක තෙත ගතියක් දැනුණා..අත පය ගසලා පොඩ්ඩක් එහාට කළා ම තමයි ලෙව කන එක නතර කළේ.අපොයි ඉතින් ඊළඟට එයාගෙ හුරතල් වෙන වෙලාව..
මගෙ පපුව උඩට වෙලා, දික් කර ගන්න මූණ මගෙ බෙල්ල අස්සෙ ඔබාගෙන මම එයාගෙ සුදු පාට කලු පාට සිනිඳු මවිල් අත ගානකල් පුදුම ආසාවකින් බලාගෙන ඉන්නවා...
ඒ විනාඩි පහ ඉවර උනා ම ආපහු මතක් කරන්න ඕනෙ නෑ, කිසි ම කරදරයක් නැතුව එයා බැහැලා යනවා, මට පරක්කු වෙන බව දන්නවා වගේ..
ලැසී..මගෙ ආදරේ..අපි දෙන්නා කතා කරන්න වචන දන්නෙ නැති වුණාට අපි දෙන්නට දෙන්නා අපි දෙන්නව හොඳට දැනගෙන හිටියා..අපිට අපිව හොඳට ම තේරුනා..මට දුක හිතුණු වෙලාවල්, සතුටින් හිටපු වෙලාවල්...ඒ වෙලාවට කොහොමද මාත් එක්ක ඉන්න ඕනෙ...
ඒ විතරක් නෙමෙයි, මට චුට්ටක් හරි තරහ ගියාම මාව මග ඇරල ඉන්නත් මගෙ චූටි කෙල්ල දැන ගෙන හිටියා..(ඒක නම් කපටිකමට ද කොහෙද..?)

ලැසී අපේ ගෙදරට ආවෙ මගේ පුංචි අම්මාගේ හත් දවසේ දානේ දවසේ එදා අපේ ගෙදරට අළුත් අමුත්තෙක් විදිහට ආවට පස්සේ ලැසී නැතුව අපේ ගෙදර අමුතු වෙන තරමට ම එයා අපේ මුලු ගෙදර ම වෙනස් කළා...ඉතින් මෙයා තමයි අපේ ගෙදර කාගෙත් හුරතලේ...පොඩි කාලෙ ඇවිදගන්න බැරි තරමටම බෝලයි.චුට්ටක් ඇවිද්දහම ඉතුරු ටික රෝල් වෙන තරමටම බෝලයි.කෙටියෙන්ම කියනවනම් එයා බෝල බබෙක්.
බබ්බු හැමදාම ඒ ස්යිස් එකෙන්ම ඉන්නෙ නැනෙ (එහෙම ඉන්නවනම් කොච්චර හොඳ ද???) ඉතින් මෙයාගෙත් අත පය දික් උනා...එහෙම උනාට මොකද තාම හුරතලේ. "එයා දැන් ලොකු ළමයෙක්!!!"
ලැසීගෙන් ඉගෙන ගන්න හුඟාක් දේවල් අපිට තිබුණා..පිළිවෙළකට කෑම කන්න ලැසී හරි ආසයි...එයාගෙ කෑම තනියම එයාම පිඟානට දාගෙන කන්න එයා පුරුදු වෙලා තිබුණා..සමහර වෙලාවට ඒවත් එක්ක කේන්තිත් යනවා..ඇයි ඉතින් ඒ දිහා බල බල අපේ අම්මා බනින්නෙ අපිටනේ..වෙලාවකට අම්මා කියනවා උඹලට වැඩිය මේ තිරිසනා හොඳට හැදිලා තියෙනවා කියලා...එල්ලෙන්න හිතෙන්නෙ ඒ වෙලාවට තමයි..

මෙයා හරි ආස දේවල් list එකක් තිබුනා. මම ටිකක් කියන්නම්.

  • වරකා කන්න.
  • ඇලේ බැහැලා දියබරි එක්ක සෙල්ලම් කරන්න.
  • අපේ අම්මගේ කුමුදු පොකුනෙන් වතුර බොන්න.
  • බල්ලෙක් වුණාට කලින් වැඩි වාර ගාණක් පූසෙක් වෙලා හිටපු ගතිත් මෙයාට තිබුණා..මීයො අල්ලන්න ආස වෙන්න ඇත්තෙ ඒ හින්දා..
වෙනදා විදිහට ම අද උදෙත් හය වැදුනා මතකයි..අර මූණ පුරා දුවන තෙත ගතිය තාම නෑ..මම ඇස් දෙක ඇරලා බැලුවා..අද නොවැම්බර් 24..හ්ම්ම්...
ලැසී අපි හැමෝ ම දාලා ගිහින් අදට අවුරුදු දෙකයි...
ඒත්.., මට තාමත් ඒක එහෙම වුණා කියලා හිතා ගන්න බෑ..කැම්පස් එකේ ඉඳලා හදිස්සියෙ ඇවිත් ලැසී වළ දැම්මා කියලා හිතන්නවත් මට හිතෙන්නේ නෑ..
තාම ඒ බෝල බබා දඟ කරන හැටි..මට තාම පේනවා..කොයි තරම් කමැති වුණත් ලැසී ආපහු මගෙ ළඟට එන්නෙ නෑ..
එහෙම හිත හිතා මම ඇඳෙන් බිමට බැස්සා..




No comments:

Post a Comment