Saturday, November 17, 2012

පනහට නා ගැනීම...

අද ටිකක් වැඩ වැඩි දවසක්..මාර කට්ටක් වුණත් සිකුරාදා නේ කියලා හිත හිතා ඔෆිස් එකේ හවස් වෙනකන් වැඩ ඔක්කොම ඉවර කරන්න තමයි හිතුවෙ කොහොම හරි.. පාරෙ බස් එකට විතරක් සල්ලි දීලා මදි හින්දා මම දැන් තව සල්ලි දීලා ගෙදර ඉඳලා යන්නෙ එන්නෙ ස්ටාෆ් බස් එකකනෙ. හැමදා ම වගේ ඉතින් ඒකටත් කෝල් එකක් දීල මට හවස එන්න වෙන්නෙ නෑ කියල මගේ මේ සතියට තිබුනු වැඩ ටික කන් දෙක සාක්කුවට වැටෙන තරම් මහන්සියකින් ඉවර කරා. මහන්සියේ ප්‍රතිඵල.. මගේ ඔක්කොම වැඩ ටික ඉවර වෙනකොට කවදාවත් මට ගේ පේන වෙලාවකට ගෙදර යන්න වෙන්නේ නෑ..මොනවා කරන්නද..?
දුක තමයි රන්ජනී කියාගෙන හවස් වෙච්චි නිසා පිටකොටුවට ගිහින් 120 බස් එකක අමාරුවෙන් හරි ගෙදර යනවා කියල හිතාගෙන කොටුවට ආවා. දැන් ඉතින් පලයංකො හොරණ බස් එකේ..අයියනායක දෙයියො සිහි කරලා කැලේ යනවා වගේ මාත් දෙයියො බුදුන් සිහි කරගෙන පිට කොටුවෙ 120 බස් නවත්තන තැනට හෙමින් සැරේ ඇදුණා...
හ්ම්ම්ම්ම්....මෙන්න බොලේ ලෝචනා ඉන්නවා බස් එකක් එනකන් බලාගෙන.
හෝව් හෝව්...හරි.ඉස්සෙල්ලා කියලා ඉන්නම්කො ලෝචනා කියන්නෙ කවුද කියලා... එයාගෙ සම්පූර්න නම ලෝචනා මිහිරානි මහවත්ත, තවත් මහවත්ත කෙනෙක්...
මම පොඩිකාලෙ ඉඳලා දන්න (ඒ කියන්නේ අවුරුදු විස්සක් විසි  දෙකක් විතර ඉඳන් )ඉස්කෝලෙ පහ වසර වෙනකන් හිටිය වාසගම නිසා දුරින් හරි නෑදෑයෙක් වෙනව කියල දන්න මගේ යාළුවෙක්....එක ම අවුලකට තියෙන්නේ ලෝචනාට කතා කරන්නම බෑ..ඒ බැරිකම කොච්චරද කියනවා නම් ගොලුවෙක් එයා ළඟ හිටියා නම් විනාඩි පහෙන් ගොලුවත් යස අගේට කතා කරනවා...
කොයි තරම් දන්න යාලුවෙක් වුණත්  මෙච්චර කාලයකට අපි දෙන්නා කතා කරලා තියෙන වචන ගාන අතේ ඇඟිලි ගානටත් අඩුයි, ඒත් ඉතින් දැන් මෙයත් එක්ක හොරණ යන්නත් එපායැ, පැය දෙකක ගමනක් අතේ ඇඟිලි ගාන කෙසේ වෙතත් ඉහේ කෙස් ගනට අද කතා කර කර යන්න පුලුවන්. දෙවියන්ගේ ම පිහිටයි කියලා හොඳට ම හිතුණා මට..
හපොයි දෙයියනේ..."පාරුවෙ පුවක්" කියල හිත හිතා මම නැග්ගා බස් එකට ලෝචනාත් එක්ක ම.. කන පැළෙන්න ලස්සනයි කියලා හිතාගෙන මෙලෝ රහක් නැති සිංදු දාගෙන ඔය බස් ඔතන නවත්තලා තියෙන කල් පුදුමාකාර දේවල් බලා ගන්න පුලුවන්..තියෙන මොනවා හරි දෙයක් විකුණ ගන්න ලෝකෙ ම පණ්ඩිතකම් දෙසා බාන මිනිස්සු, රත්තරන් වගේ පේන "හොරු කඩන්නේ නැති නෝනලාට බය වෙන්න ඕනෙ නැති" චේන් විකුණන අය, එතකොට අසරණ කම කියලා ඊට වඩා අසරණ අපෙන් හිඟා කන අය ඔය වෙලාවට තමයි බස් එකට ගොඩ වෙන්නේ. ඉස්සල්ලම ආවා පොත් විකුනන මනුස්සයෙක්. ඒ මනුස්සයා ගෙනාවේ සැළළිහිණිය, සුභාශිතය, සිරිත් මල්දම සහ ලෝ වැඩ සඟරාව. කඩේ පොත් හතරම රුපියල් දෙසීයයි මෙයා සීයක්ම අඩුකරල රුපියල් සීයට පොත් හතරම දෙනවලු.නිකන් දෙනවා නම් දෙමළ පත්තරේ වුණත් මොකද කියලා හිතිලද දන්නේ නෑ ලෝචනා ගත්තා පොත් හතර.(අනෙ අම්මෝඅ..මට කියන්න අමතක උනා නේ, ලෝචනා දැන් ටීචර් කෙනෙක් නේ..ටීටර් නෙමෙයි..ටීචර්.. ). මේ මනුස්සයා ගාව තව වාස්තු විද්‍යාවට සම්බන්ධ පොතකුත් තිබුනා, මමත් කාලයක් තිස්සෙ හොය හොයා හිටපු පොතක්.අනික ඒක රුපියල් පනහයි. ඒ නිසා මමත් ඒ පොත ගත්තා.
පොත් ටිකත් අරගෙන ඔන්න ඉතින් අපි ඒවා කියව කියවා ඉන්නකොට තවත් මනුස්සයෙක් නැගපි බස් එකට, මේ මනුස්සයා ගෙනල්ලා තිබුනෙ වාස්තු විද්‍යා පොතක් විතර ම යි. ඒකත් පනහයි, හැබැයි ඒකේ මම කලින් ගත්ත පොතට වඩා විස්තර තිබුනා. මේ මනුස්සය කියාපි ඒ පොත ගන්නෙ හොදට මොලේ තියෙන ඉගෙන ගෙන තියෙන ඒකේ වටිනා කමක් දන්න එක්කෙනෙක්ලු. ඉතින් ඔහොම වල් පල් කියව කියවා අපි දෙන්න හිටපු තැනට මේ මනුස්සයා ආවා. මම රුපියල් පනහක් දීල පොතක් ගත්තා.මාත් ඉතින් වැඩිය මෝඩ නැහැනේ..කවුරුහරි මුරුංගා අත්තේ තිබ්බොත් බෑ කිය කිය එල්ලෙනවානේ...

ඊට පස්සේ තමයි නාඩගමේ හොඳ ම හරිය..ඉල්ලගෙන මාමයිට් ගා ගත්ත ජීවිතෙ අමතක ම නොවෙන ටික වුණේ ඒ වෙලාවේ..
අර මනුස්සයා අපි ළඟට ඇවිත් රුපියල් පනහ ගත්තා. "මේ බලන්න මේ රත්තරන් මහත්තයා දන්නවා මේවායේ වටිනාකම.ඉගෙන ගත්ත මොළේ ඇති මහත්තයෙක්. අනාගතේ වරදින්නේ නෑ.දෙන්නා එක්ක තුන් වේල ම සම්බෝලයි බතුයි කාලා හරි හිනා වෙලා ගෙවන ජීවිතයක් ලැබෙනවා මේ පොත් බලලා වැඩ කරන හින්දා..දෙන්නා එක්ක කරන කියන දේවල් සාර්ථක වෙලාඉස්සරහ ජීවිතෙ සතුටින් ගෙවයි.."
ඊඊඊක්ක්ක්....යකෝ පොත දීලා පලයන්කෝ..සමයන් කියවන්නේ නැතුව.
විලි ලැජ්ජාවයි සම්බුද්ධ ජයන්තියයි වගේ වැඩක් මටත් වුණේ.ඒ අස්සේ හිකි බිකිස් ගගා ලෝචනාත් හිනා වෙනවා.. "මම නම් තුන් වේල ම සම්බෝලයි බතුයි කන්නෙ නෑ" කියලා ඇඟට පතට නොදැනී මට හිනා වෙවී කිව්වෙත් මට ඇඬෙන්න මයි..

"හපොයි දෙයියනේ..වාස්තු විද්‍යා පොතක් ගන්න ගිහින් මට වෙච්ච දෙයක්.." මොනවා වුණත් ලැජ්ජා බයට හැදිච්ච් එකානෙ..කිසි ම සද්දයක් නැතුව මම හොරණට එන කල් ම නිදා ගත්තා..

2 comments:

  1. Hafoi deyyane..........Eda idanma naaa ganna danne nathi ekaakane...........!

    ReplyDelete
    Replies
    1. එකනේ මල්ලී කියන්නේ.... අපි නා ගද්දී hole sale නා ගන්නවා කියලා

      Delete